
දැන් ඉතිං ඔය කොල්ලො කෙල්ලො ලවු කළත් නොකළත් ලංකාවෙ නං වෙඩිමක් අරන් වර්ල්ඩ් රෙකෝඩ් තියල, සල්ලි ටිකක් විසි කරලා, නැති සොබ්බෙ පෙන්නලා වැඩේ ගොඩදාන්න එපැයි. හැබැයි ඉතිං එහෙම නැතුවත් කසාද බඳින්න පුළුවන්. මේ කියන්න යන්නෙ එහෙම නැතුව කසාද බඳින එකෙන් තියෙන වාසි ගැනයි. මේ වාසි ටික ඔයාලගෙ කරගන්න පුළුවන් වුනත් මේ වාසි ටික කරගත්තම සමාජෙන් සමහර වෙලාවට නරක කතා ඇහෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒවා මේ කතාව ඇතුළෙ කියැවෙන නෑයන්ගෙ කුණු කතා වගේ නැහැ. එහෙනං අපි කියෝලම බලමු වෙඩින් එකක් ගත්තෙ නැතුව බැන්දම තියෙන වාසි ගැන.
1. ආතල් ගන්න සල්ලි ඉතුරු වෙනවා
ඔන්න ඇත්ත. බොරුවට ඇඳුම්, මේකප්, රත්තරන් බඩු, නෑයන්ට කෑම, හෝටල් චාජස්, ෆොටෝග්රැෆිවලට සල්ලි වියදං වෙන්නෙ නෑ. ඒ නිසා වෙඩිමෙන් පස්සෙ කාලෙ සල්ලි ගැන එච්චර නොහිතා ආතල් අරන් ජීවත් වීමේ හැකියාව උදාවෙනවා. ඒ විදිහට සල්ලි ඉතුරු වෙන එක එච්චර වාසියක් විදියට බඳින්න කලින් නොපෙනුනත් බැන්දට පස්සෙ හිතට ආතල් කියන දේ වටිනාකම ලොකුවටම දැනේවි.
2. ලෝන් බරින් නිදහස් වීම
දැන් සාමාන්‍ය මට්ටමෙන් වෙඩිමක් ගන්නත් මිලියනයක් දෙකක් විතර මුදලක් අගනුවර ආශ්රිත කෙනෙකුට වියදම් වෙනවා. ඒක එක රාත්‍රියක් වෙනුවෙන් ලොකු මුදලක්. ඒක බොහෝවිට රැස්කළ මුදලින් නොකෙරෙන නිසා එයට ලෝන් එකක් දැමීම අවශ්‍යයි. ඉතිං ඔය ලෝන් එක ගෙවන්න වෙන්නෙත් බැඳපු දෙන්නට මිසක් ලොකු වෙඩිමක් ගමු කියල කියපු කට්ටියට නෙමෙයි. මේ ලෝන් කේස් එක ලොකු සහනයක් වගේ මුල් කාලෙ දැනුනට පස්සෙ මාසෙ පඩියෙන් ලොකු කුට්ටියක් බැංකුව කපාගනිද්දි ඒක එච්චර සහනයක් විදියට දැනෙන එකක් නෑ. ඒ වගේම ඒ මුදල යොදවලා කරන්න පුළුවන් වෙනිං වැඩ කන්දක් ඒ කාලෙදි මැවිලා පෙනේවි.
3. නෑයන්ගෙ කුණු කතා නැති වීම
ඔන්න ඉතා හොඳ තත්ත්වයක්. කතාවට කියනව වෙඩින්වල මියුසික් හෙණ ගහන සද්දෙට දාන්නෙ නෑයොන්ට වෙඩිමෙ නරක කතා කරන්න බැරිවෙන්නලු. දැන් ඔය නෑයො කියන ජාතිය කියන කතා ඉතිං ඔයාගෙ වෙඩින් එක තරු පහේ හෝටලේක ගත්තත්, රූප සුන්දරියෙක් බැන්දත්, ඉස්තරම් මෙනූ එකක් සහ ඉස්තරම් බීම වර්ග දුන්නත් නවත්තන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒ අය කොහෙන්හරි අවුලක් දෙකක් හොයාගන්නවම තමයි.
4. යාලුවො දෙන කටු කන්න නොවීම
අපි දන්නවනෙ ඉතිං අපිට කලින් කසාද බැඳපු යාළුවොන්ට අපි දීපු කටු. බෑග් උස්සල ඇතුළට මඩ දාලා. අපිම ස්ප්‍රේ කරගෙන පර්ෆියුම් ඉවර කරල. ඇඳුම් අස්සට කැරපොත්තො දාලා, බෑග් එකට වෙනිං ලොක් දාලා, ගම් ගාලා ඇඳුම් අලවලා, වාහනේ කුණු කතා ලියලා, බ්‍රයිඩ්ට කුණු බිත්තර ගහලා අපි යාළුවොන්ට දුන්න කටු උනුත් අපිට දෙන්න බලාගෙන ඉන්නෙ බඳිනකං තමයි. ඉතිං ඒවයින් ගැලවෙන එකම කොච්චර දෙයක්ද?
5. විලි ලැජ්ජාවෙ පණ යන වැඩ
දැන් ඔය වෙඩිමක විලි ලැජ්ජාවෙ පණ යන සීන් තියෙනව. කඳු මුදුන් උඩ වෙන වෙන ඇඳුම්වලින්, එක එක ඈන්ගල්වලට අත දික් කර කර ෆොටෝ ගන්න සිද්ධ වෙන ප්‍රීෂූට් කියන්නෙ වෙනමම විලි ලැජ්ජා නැති වෙන වැඩක්. ඇයි ඉතිං දන්න එවුන් දන්නවනෙ පින්තූරෙට ඇඟිලි දික්කරගෙන වෙනිං වෙනිං කඳු පෙන්නං හිටියට මුං බඳින්න කලින්න නටපු නාඩගං. ඊට හපං වෙඩිම වෙලාවෙ මාසයක් තිස්සෙ ප්‍රැක්ටිස් කරපු සර්ප්‍රයිස් ඩාන්ස් දාන්නත් වෙනවා. ඔයිට හොඳයි බඳින්න කලින් දික්කසාද වෙනව.
6. අපෝ අපි මුන්ට මුන්ට ඇන්දුනා කියල දුක් වෙන්නට සිදු නොවීම
දැන් ඔය බ්‍රයිඩල් ඩ්‍රෙසින් කරන අයනං ඉතිං ඇත්තම සීන් එක කියලමයි ගන්නෙ. එයාලා කෙලින්ම කියනවනෙ ‘මනාලියන් අන්දනව’ කියල. ඇත්ත තමයි ඉතිං, එයාලා මනාලියන් විතරක් නෙමෙයි එතන්ට එන බුරුත්තම අන්දනවා. ඉතිං වෙඩිමෙන් පස්සෙ ගෙදරින් මේකප් කරගෙන එතනට එන අය තමුන්ට වඩා ලස්සනට ආව කියල දැනෙද්දි මනමාලිට හිතෙනව අපරාදෙ මේ තැන්වලින් අපි අන්දවගත්තෙ කියල. ෆොටෝග්‍රැෆි ගැනත් ඒ විදියටම හිතෙන්න පුළුවන්.
7. පස්සෙ දික්කසාද වුනත් අවුලක් නැති වීම
මේකත් ඇත්ත සිද්ධියක්. ප්‍රී ෂූට් තියලා, සර්ප්‍රයිස් ඩාන්ස් දාලා, හාරසීයකට විතර කියල කසාදයක් බැන්ද වගේ නෙමෙයි පුතෝ හදිස්සියෙ පවුල අවුල් වෙලා දික්කසාද වෙන්න වුනොත් එහෙම. එහෙම වුනොත් ඉතිං අර කරපු වියදම අපරාදෙ වගේම නෝන්ඩියත් මිලියන ගණනිං සෙට් වෙනවා.
Source - Aniwa.lk
0 comments :
Post a Comment