Sunday, September 10, 2017

සින්දු කියන දොස්තර මහත්තයාගේ ආදර කතාව ලීක් වෙයි!



ලෝකයේ තියෙන සොඳුරුම පෙම් කවිය සොරාගත්තෙක්‌ වගේ ඔයාගේ ආදරය මම මගේ හදවතේ කාටවත්ම නොපෙනෙන තැනක සගවාගත්ත කාලය මට අදටත් හීනයක්‌. ඒ හැම මොහොතකම හිත්වල ආදරේ පුරෝගෙන අපි ජීවිතේ හෙව්වා.
රෑ තිස්‌සේ නිදිවරාගෙන පාඩම් කරද්දි ඇස්‌ ඉස්‌සරහ එකපාරටම ඔයාගේ ඇස්‌ දෙක පෙනී හිටිනවා රත්තරං. ඒක හීනයක්‌ නෙවෙයි.
වෙහෙසකර මොහොතක මගේ හිත නිවන්න දෙවියන් මා ඉදිරියට එවපු සුබ දසුනක්‌. ඔන්න ඒ විදිහටයි මේ හැමදෙයක්‌ම දිනාගෙන ඔයාව දිනාගන්න ආපු වීර කුමාරය මම වුණේ. හරියට අපි පුංචි කාලේ කියවපු සුරංගනා කතාවක වගේ.
සුපිරි තරුවක්‌ ලෙස ඔටුනු පලන් යෞවනයේ අතිශය මිහිරි පෙම්වත් හඩක හිමිකරුවා වන ප්‍රදීප් රංගන තම ජීවන ගීය ගයන්නට තෝරාගත් ඇය සමඟ අපේ ආදර හැන්දෑවට ඇවිදගෙන ආවේ හතර වටින් වැහි අදුර පාත්වුණ හැන්දෑවක. ඒත් ඒ ආදර කතාව ආදර හැන්දෑව දිගේ හෙමිහිට ගලාගෙන යද්දි මොරගෙඩි තරමට ලොකුවට බිම වැටුණ වැහිබිඳු මල් රටා මවනවා මම දැක්‌කා.

ඔබට පළමු වරට ඈ හමුවන්නේ මොනවගේ මොහොතකද ?
චතුරිකාව මම පළමු වරට දකින්නේ සාදයකදී. ඇත්තම කියනවා නම් ඇයව දැකගැනීමේ අපේක්‌ෂාවෙන්ම තමයි මම ඒ සාදයට සහභාගි වුණෙත්.

ස්‌ථිරවම ඇය ඒ ප්‍රියසාදයේ හිඳී කියලා ඔබ දැන සිටියාද ?
ම් මෙහෙමයි. ඇගේ පවුලේ අය අපේ පවුලේ අයව දන්නවා. ඒ හිතවත් පවුලේ ඉතාමත් රූමත් යුවතියක්‌ ඉන්නවා කියල අපේ පවුල්වල අය කතාවෙනවා මට ඇහිලා තිබුණා. එදා ඒ සාදයට ඇගේ පවුලේ අයත් පැමිණෙන බව මම දැනගෙන හිටි නිසයි ඇයව දැකගැනීමේ ආසාවත් හිතේ තියාගෙන සාදයට සහභාගි වුණේ.

පළමු දැකීම ආදරයකට මුල පිරීමක්‌ වුණාද ?
ම්. මගේ හිතනම් එකවරම ඈ කෙරෙහි ආකර්ෂණය වුණා. ඒත් එයාට ඒ ගැන හැගීමක්‌ තියෙන්න නැතිව ඇති. එතකොට චතුරිකා ඉස්‌කොලේ යනවා. මමත් පළමු වරට උසස්‌ පෙළ විභාගයට පෙනී හිටියා විතරයි.

සාදයෙන් පස්‌සෙ ඇය දැකගැනීමේ අරමුණ දිවා රැයේ රංගනගේ හිතට කරදර කරන්න ඇති නේද ?
ඇත්තටම. එයාව දකින්න මගේ ආදරය එයාට කියන්න මගේ හිත පෙරුම් පුරන්න පටන් ගත්තා.

ඉතින් කොහොමද ඒකට මඟක්‌ හොයාගත්තේ ?
ඒ කාලෙ ජීවිතයේ ඉතාමත් සොදුරු තාරුණ්‍යයත් එක්‌කනේ ගතකළේ. හිතත් ටිකක්‌ කලබලයි නොඉවසිලිමත්. කෙහොම හරි මම ඉස්‌සරවෙලාම කළේ ඇගේ සොහොයුරන් මගේ මිතුරන් කරගැනීම. ඒකට රුකුලක්‌ වුණේ එයාගේ සහෝදරයෝ සංගීතයට කැමති අය වීමයි. එක අයියා කෙනෙක්‌ හිටියා තබ්ලාව වාදනය කරන. මමත් ඒ කාලේ ගයනවා විතරක්‌ නෙවෙයි සිංදු හදනවා. ඒ වගේ වැඩවලට යනවා වගේයි මම ඒ ගෙදරට ගියේ. ඒත් හිතේ තිබුණේ චතුරිකාව දැකගැනීමේ උවමනාව.

අපූරු ප්‍රේම සැලැස්‌මක්‌ නේ ?
අදටත් ඒක මතක්‌ කරකර විඳින්න පුළුවන් සුන්දර මතකයක්‌. මුලින්ම මම චතුරිකාගේ අයියත් එක්‌ක සංගීත පුහුණුවීම් වගේ විවිධ වැඩ යොදාගෙන එයාලගේ ගෙදර යන්න මඟක්‌ පාදා ගත්තා. ඔය යන අතර එයාට මගේ ආදරය ගැන හගවන්න ලස්‌සන සංගීත කාණ්‌ඩ පටිගත කරලා එයාලගේ ගෙදරට ගිහින් දුන්නා.
ප්‍රේමයත් ප්‍රකාශ වෙනවද ඔය යන එන ගමන් අතරේ ඉන්පසු ඔබලා ඉබේම පෙම්වතුන් බවට පත් වෙනවද ?
අපොයි නැහැ. මම ආදරෙයි කියල අවුරුදු තුනක්‌ විතර ගිහින් තමයි චතුරිකා මට කැමැත්ත දුන්නේ. මම එයාලගේ ගෙදර යන එන ගමන්වලදි පෙම් හසුනක්‌ ලියාගෙන ගිහින් කොහොම හරි ඒක දුන්නා. ඒත් මට ප්‍රතිචාරයක්‌ නම් ලැබුණේ නැහැ.

පෙම්හිත පසුබෑවද ?
ඒ කාලේ ඉතින් පැරදෙන්නත් සූදානම් නැති කාලෙනේ. මම දිගටම මගේ අරමුණත් එක්‌ක හිටියා. එයා පාසල් අධ්‍යාපනය අවසන් කරන තුරු. ඔය අතරේ මම දෙවැනි වර උසස්‌ පෙළ විභාගයටත් පෙනී හිදල සරසවි යන්න බලාපොරොත්තුවෙන් හිටියේ.

කරදර බාධක නැති පෙම්ලොවක්‌ද ඔබ දෙපළ වෙනුවෙන් මැවී තිබුණේ ?
එයාලගෙ ගෙදරින් බාධක ආවා. අපේ ගෙදරිනුත් හරියට මේ ගැන දැනගෙන හිටියේ නැහැ. පස්‌සෙ මම වෛද්‍ය පීඨයටත් තේරිලා ජීවිතයේ යම්කිසි ස්‌ථාවරයක්‌ ගොඩනගාගෙන හිටියනේ. ඊට පස්‌සෙ අපිට කැමැත්ත ලැබුණා.

ඇත්තටම ප්‍රදීප් ඔබ පෙම් කරන්නෙ ඒ ලස්‌සන රූපයටද ?
පළමු ආකර්ෂණය ඇතිවුණේ ඇයගේ රූමත් බවට තමයි. මම හිතනවා, ඕනෑම කෙනෙක්‌ පළමුවෙන්ම ආදරය කරද්දි ආකර්ෂණයක්‌ ඇතිවෙන්නෙ බාහිර පෙනුමට. ඒක රූමත් බව වෙන්නත් පුළුවන් එහෙම නැතිනම් තමන්ගේ හිත සොයමින් හිටි රූපයක්‌ නෙත ගැටුණම ඇතිවන හැගීමකින් ඒ කැමැත්ත ඇතිවෙන්නත් පුළුවන්.

ඒ ලස්‌සන රුව ඇතුළේ ඔබට ගැලපෙන හදවත ඇත්තිය සිටියාද ?
ඔව්. ඒක වාසනාවක්‌. එයා මාව හොඳින්
තේරුම් ගත් මගේ ජීවිතයේ මා ළඟින් රැෙදන්න සුදුසුම කෙනා කියල මට හිතෙනවා.

මේ ආදර කතාව ඇරඹෙන සමයේමද ඔබ සුපිරි තරු මාවතට එළැඹෙන්නෙත් ?
ඔව්. මම ඒ තැනට එද්දි අපි පෙම්වතුන්. එදා මගේ ළගින්ම හිටිය කෙනා විදිහට මගේ කාර්ය බහුලත්වය එයා තේරුම් අරගත්තා. මම හදවතින් එක තැනක හිටියත් රසික රසිකාවියන්ගේ ප්‍රතිචාර එක්‌ක මට එක තැනකට කොටුවෙලා ඉන්න බැරි කෙනෙක්‌ කියලා එයා තේරුම් ගත්තා.
එක කාලයක්‌ තිබුණා මගේ ජංගම දුරකථනය එක මොහොතකටවත් නිහඩ නොවී දුරකථන ඇමතුම් ගලා එන. මම මොහොතක්‌ හරි ඒ අයට කතාකරල සුහදතාවය පළකරන්න ඕනෑ කියල එයා දැනගෙන හිටියා. එවන් වාතාවරණයක්‌ ඇතුළේ අපිට හමුවෙන්න කතාබහ කරන්නත් ලැබුණ අවස්‌ථා සීමිත වුණා. ඒත් ඇය ඉවසීමෙන් මේ දේවල් දෙස බලාගෙන හිටිය.

විවාහයට තීරණ ගන්නේ ?
අපි හමුවෙලා අවුරුදු තුනකට විතර පස්‌සේ ආදරය පටන් ගන්නේ. ඊටත් පස්‌සේ ඇගේ උසස්‌ අධ්‍යාපන කටයුතුවලිනුත් පස්‌සෙයි අපි විවාහ වෙන්නේ. එතකොට අපේ පෙම් කතාවට අවුරුදු දහයක්‌ විතර ගෙවිලා තිබුණා.

එදා පෙම්වතිය ලෙස දුටු ඇය අද බිරිද ලෙස ඔබ දකින්නේ කෙහොමද ?
එයා මගේ පෙම්වතිය බිරිද පමණක්‌ නෙවෙයි මගේ දිවි ගමනේ මට හමුවුණ සොදුරු මිතුරියද වනවා. ඇය මගේ නිර්මාණ රසවිදිනවා. අලුත් නිර්මාණ වෙනුවෙන් මට ඇගේ අදහස්‌ ලබාදෙනවා. ඇය මා වෙනුවෙන් කළ විශේෂ කැපවීම තමයි ගුරුවරියක්‌ විදිහට කළ රැකියාව අතහැර දැමීම.
මම වෛද්‍ය වෘත්තියේ සහ සංගීත ක්‍ෂේත්‍රය තුළ කාර්ය බහුල නිසා පවුලක්‌ විදිහට එකට පවතිද්දි අපේ කටයුතු වෙනුවෙන් ඇය ඇගේ කාලය යොදවමින් මගේ වැඩවලට ඇය කාලය සොයා දෙනවා.

ජීවිතයේ විශේෂ දවසක ඔබලා සාද පවත්වනවාද?
විවාහ සංවත්සරයට හැමදාම කිරි ආහාර පූජාවක්‌ කරනවා. විශේෂ දවසකදී උත්සව පවත්වනවාට වඩා ආගමික පැත්තෙන් දෙයක්‌ කරන්න අපි දෙන්නම කැමැතියි. මොකද ජීවිතයේ යථාර්ථය තේරුම් අරන් වැඩ කරන්න ඇය වගේම මමත් කැමැතියි.

0 comments :

Post a Comment